9/28/11

අරගන්ඩ! කියවන්ඩ! පත්තරේ - Get your copy today!

      ආයුබෝවන්ඩ!සිංහල බ්ලොග්කරණයට අලුත්ම විදිහක පත්තරයක් හදුන්වාදෙන්නයි මේ සූදානම!දැන් කස්ටියම බලනවා ඇති කොහෙන් ද මේ එක පාරටම පත්තරයක් කඩා පාත් වෙන්න යන්නේ කියලා.පැහැදිලි කරලම කියන්නම්කෝ!හැබැයි හොද අවධානෙං අහං ඉන්ට ඕනෑ.

      ‍ටෙලිවිෂන් රේඩියෝ ඉන්ටර්නෙට් වගේ හුගක් පහසුකම් තිබුණත් අදත් හැමෝම වගේ ඔයි පත්තර කියවනවනේ.මරණ දැන්වීම්,මගුල් දැන්වීම්,වෙළද දැන්වීම්,දේශීය-විදෙශිය ප්‍රවෘත්ති වගේ එව්වා ටිකක් අයින් කරලා ගත්තම පත්තරේ කියන්නෙත් හොදට කියෝලා කරලා එහෙම ෆස්ට් ක්ලාස් වින්දනයක් ගන්න පුලුවන් පොතක් වගේ දෙයක්නේ.අනික දවස ගානෙම අප්ඩේට් වෙන නිසා කියවන්න කිසි කම්මැලි කමකුත් නැහැනේ!


ඇයි මේ බ්ලොග් එක "පත්තරේ" කියලා නම් කළේ?

   හැබැයි මේ ලියන්න යන්නේ නම් තව පත්තරයක් නෙවෙයි.මංතුමාට සිද්ධ වුණු, ඉස්සරහට සිද්ධ වෙන්න ඉඩ තියෙන, මංතුමා කරන කියන හිතන පතන ‍, සමහර දේවල් ගැන හිතෙන දේවල් ඔක්කෝම මේ පත්තරේ ලියා කියා තියන්ටයි සූදානම!ජීවිතය කියන්නේ හැමදාම අලුත් වෙන ඒත් කවදාවත්ම අමතක නොවෙන එක එක විදිහෙ අත්දැකීම් වල එකතුවක් නේ.ඉතින් මේ පුංචි බ්ලොග් ඉඩ-කඩත් ඔයගොල්ලෝ හැමෝම එක්ක බෙදා හදා ගන්න පුලුවන් අත්දුකීම් වලින් පිරිපුන් වෙද්දි මේ බ්ලොග් එකට "පත්තරේ" කිව්වේ ඇයි කියලා, කියවන ඔයාලටම තේරුම් ගන්න පුලුවන් වෙයි!

මොනවද මේකෙ තියෙන්නේ?

  ලොකු දේවල් නම් ලියන්නේ නැහැ! මම අත්විදපු ,අත්දැකපු ,අහපු-කරපු වින්දනාත්මක සිදුවීම් වලට මුල් තැන දෙනවා.ඒ නිසා විනෝදාස්වාද කාණ්ඩයේ බ්ලොග් අඩවියක් කියලා නම් කළාට වැරැද්දක් නැහැ.හැබැයි ඉතින් මගේ ඔපදූප කියවලා ඔයගොල්ලන්ගේ ඉන්ටර්නෙට් බිල් වැඩි කරන එකත් හරි නැහැනේ.ඒ හින්දා බ්ලොග්කරණයෙදි අන්තර්ජාලයෙ දි, නැතිනම් එදිනෙදා ජීවිතයේ දී වැදගත් වෙන විදිහෙ ටූල් එකක්,සොෆ්ට් එකක්, නිවුස් එකක් වගේ තොරතුරු ඇතුළත් කරපු ලිපිත් අඩංගු කරනවා.මම කියවපු-කරපු වැදගත් පොත්පත්,චිත්‍රපටි ආදිය ගැනත් ඔයගොල්ලන්ට වැදගත් වේවිය කියලා හිතෙන තොරතුරු එහෙමත් ලියන්න අදහසක් තියෙනවා.ඒ හරුනහම යම් යම් කරුණු සම්බන්ධයෙන් මගේ පෞද්ගලික මත ඉදිරිපත් කිරීමටත් කටයුතු කරනවා.ඒ හැම දෙයක් ම මම හිතන කියන දේ විතරයි.නිදහසේ අදහස් පළ කරන්න ඔයගොල්ලෝ හැමදෙනාටම අවස්ථාව තියෙනවා.


ඇයි මෙහෙම බ්ලොග් එකක් ලියන්න හිතුනේ?

  සිංහල බ්ලොග් ලියලා කියලා ලොකු පුරුද්දක් එහෙම තියෙන කෙනෙක් නෙවෙයි මම!ඒත් හුග කාලයක ඉදන් බ්ලොග් කියවන්න නම් පුරුදු වෙලා හිටියා.මේ සාහිත්‍ය මාසෙත් එක්කහම හුගක් බ්ලොග් පාඨකයෝ බ්ලොග් කියවලා ලබා ගත්තු අත්දැකීම් වලින් තමනුත් බ්ලොග් ලියන්නට පටන් අරගෙන!කියන්න තියෙන ඕනම දෙයක් හැගෙන දැනෙන විදිහට කෙලින් කියලන්න පුලුවන් ලංකාවේ එකම මීඩියා එක සිංහල බ්ලොග්කරණය කියන එකයි මගේ මතය නම්.ඒ නිසා හුග දෙනෙක් බ්ලොග්කරණයට යොමු වෙලා ඉන්න එක ස්වභාවිකයි.ඉතිං මොකටද ආයෙත් බලං ඉන්ටෙ?මාත් ඔන්න ඔහේ ලියන්න පටන් ගත්තා.

මොනව ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ?

ඔය "මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයි" එහෙම කියලා පැරණි කියමනක් එහෙම තිබුණට මම නම් මේ බ්ලොග්එක ලියන්නේ කිසිම ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් නෙවෙයි.මගේ අත්දැකීම් අදහස් සහ මත ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගෙන ඒවා සාධාරණිකරණයකට ලක් කිරීමේ චේතනාවකින් යුතුව! කියවන්න කියලා බල කරන්නේ නම් නෑ!පුලුවන්නම් ඇවිත් කියවලා යන්න.කමෙන්ට් කරන එක අත්‍යාවශ්‍යම නැහැ.අපි කවුරුත් අද බොහොම කාර්යබහුල ජීවිත ගත කරන උදවියනේ!ඒත් මොනවාහරි කියන්න ඕන කියලා හිතුනොත් හංගන්නේ කරන්නේ නැතිව දන්න සිංහලෙන්(බැරි නම් English හරි කමක් නෑ) ලියලා තියලා යන්න.

කවුද මේක ලියන්නේ?

   ඔය මගේ ප්රොෆයිල් එකේ මම මාව "ලංකාවේ පොරක්" කියන අන්වර්ථ නාමයෙන් හදුන්වා ගත්තා.ඇත්තටම අපි කවුරුත් වගේ මාත් ලංකාවේ ඉපදුණු, ලංකාවේ හැදුණු වැඩුණු, අයනු ආයනු වලින් ජීවිතේ ගොඩ දාපු, අපේ සිංහල කමට- අපේ සිංහල රටට ආදරය කරන තවත් එක කොල්ලෙක්.හැබැයි ඔය "පොරක්" කියලා කිව්වට ඒක වැරදියට නම් තේරුම් ගන්න එපා.ඒ කිව්වේ, මම කිසිම විදිහක පොරක් නම් නෙවෙයි.ඇල් වතුරත් නිවලා බොන ටයිප් එකේ අවිහිංසාවාදී කොල්ලෙක්.කිසිම තැනක කිසිම දෙයක් පිළිබදව විචාරකයෙක් නෙවෙයි.එහෙම නැත්නම් දාර්ශනිකයෙක්,මතධාරියෙක් වගේ කෙනෙකුත් නොවෙයි.ආගම් පක්ෂ භේදයක් නෑ.ප්‍රජාතන්තුවාදය, සමාජවාදය, ධනවාදය නැත්නම් ලිබරල්වාදය වගේ කිසිම දේශපාලනික මතයක් දරන්නේ නැහැ.සිංහලෙන් කියවන්න-කරන්න පුලුවන් ඕනෑම කෙනෙකුට ඇවිල්ලා කියවලා යන්න පුලුවන් විදිහට ලියනවා.හැබැයි ලියන්නේ මට ඕන දේවල් විතරයි!

දැන් කාට ද මේක කියවන්න පුලුවන්?

  අන්තරජාල සම්බන්ධතාවයක් තියෙන, සිංහල යාන්තමට හරි කියවගන්න පුලුවන්, ජාතික-විජාතික ඕනම කෙනෙකුට ඇවිල්ලා කියවලා යන්න පුලුවන්.මේක  E type එකේ බ්ලොග් එකක්(For Everyone) වැඩිහිටියන්ට පමණයි,පිරිමින්ට පමණයි,කාන්තාවන්ට පමණයි,මතධාරීන්ට පමණයි,අර පාක්ෂිකයන්ට මේ පාක්ෂිකයන්ට පමණයි වගේ කිසිම භේදයක් නැහැ!පවුලේ හැමෝටම එකට වාඩි වෙලා වුනත්(උවමනානම් විතරක්) කියවන්න පුලුවන් බ්ලොග් එකක්.කියවන ඕනෑම කෙනෙකුට කමෙන්ට් එකක්(දෙක තුනක් වුණත් කමක් නෑ) ලියලා යන්න පුලුවන් කම තියෙනවා.ඕනෑම අදහසක් පිළිගන්නවා.හැබැයි අසභ්‍ය දේවල් ලියලා තිබුණොත් නම් ඩිලීට් කරන්නට සිද්ධ වෙනවා."අපි කියන දේවල් වලින් අපි තවත් කෙනෙක් ඉදිරියේ  ගොඩනගාගන්නේ අපේම ප්‍රතිරූපය බව මතක තියා ගන්න ඕනේ".සමහර දේවල් සම්බන්ධයෙන් මගේ අතිනුත් වැරදි සිද්ධ වෙන්න ඉඩ තියෙනවා.එහෙම වුණොත් ඒ දේවල් නිවැරදි කරගන්නත් උපදෙසක් ලබා දෙනවා නම් බොහොම ස්තූතිවන්ත වෙනවා.

එහෙනම් සුභ ගමන් යාලුවා!......

   එසේම වේවා!මේ ආරම්භ කළේ තවත් එක ගමනක්!ඒ ගමන කවදා හරි ඔබටත් මටත් ආඩම්බරයෙන් ආපස්ස හැරිලා බලන්න පුලුවන් අවසානයක් කරා ගෙන යනකන් ලියන මම කියවන ඔබත් එක්ක,හැමදාටම... හැම මොහොතකදිම ඉන්නවා!.... ඉතින් මෙතිනින් නවතින්නම්.ඒ පත්තරේ පළවෙනි නිවුස් එකත් අරගෙන ඉක්මනටම ආයෙත් එන බලාපොරොත්තුවෙන්!

ප.ලි.

ඔන්න මේක නියවලා එහෙම යන ගමන් පොඩි ෆලොව් පාරක් එහෙමත් දාගෙනම යන්න.ෆලොව් කරයි කියලා කිසිම පාඩුවක් නම් වෙන්නේ නැහැ!කාටත් හොරා කියන්න මොනවාම හරි දෙයක් තියෙනවානම් මට ලියන්න me.paththare@gmail.com